මාර වැස්සකි.පුත්තලමට ගං වතුර දමා ඇත.වෙනදා වැඩිම වර්ශාපතන රෙකෝඩ් එක තැබූ උඩරට පසු කරමින් කොලඹ ඒ තැනට පත් වී ඇත.ඇසෙන කොටත් උණකට්ට නගින වන්නියේ කට්ටිය දැන් නිදා ගන්නෙ ජර්සිත් ඇදගෙනය.මේ හදිසි වෙනසට හේතුව සෙවීමට කිසියම් පියවරක් ගත යුතුමයි මට සිහියට ආවේ ඊයේ රාත්‍රියේ මදුරුවෝ තල තල රෙද්ද පොරෝගන්න අතරතුරදීය.නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගනිමින් දෙමාපිය යැපුමින් ජීවත් වෙන මා වැන්නෙකුට එවැනි අදහසක් ප්‍රාප්ථ වීම මාදකින්නෙ ආසියාවේ ආශ්චර්යය මා තුලින්ම ආරම්භ වූවා සේය.

කාලගුණේට කතා කොට වැඩක් නැත අනිවාර්යයෙන් හෙට වහි නැත්තන් නොවහි යන්න අහගන්නට උපහාර බිල කපාගෙන වැඩක් නැත.මනෝ පාරක් ගහගෙන ඔහේ ජාලයෙ කාලයාව මර මර සිටිද්දි යාහූ ගොය්යගෙ චැට් බොක්සයක් මතු කරගෙන ආවේ දැකල තියා අහලවත් නැති පොරකි.මුලින්ම ඌ සුද්දෙකි.සුද්දෙක් යනු කොටින්ම හම සුදු එකෙකි.ඉතින් අපේ කට්ටිය ආගන්තුක සත්කාර කියන බෝතලයට දාල තියන හද්දා පරණ සුද්දාව දැක්කාම දෙකට නැවීමේ වයින් එක මා තුලද වැඩ කරන්නට පටන් ගත්තේය.දත කට මැද ගෙන හෙලෝ සර් කියාගෙනම මම වැඩට බැස්සෙමි.
"තමුසෙ මාව අදුරනවද?"
සුද්දා සිංහලෙන් චැට්ය.හොල්මන්ද පොල්කොලය.මූත් කෙල්ලන්ගෙ පොටෝ එකක් හොයා ගන්න බැරිවුන වේලෙන කොල්ලෙක්වත්ද?එහෙනන් මොකද මේ රස්ති භාෂාව.මම් කෙටියෙන්ම කට් ශෝර්ට් වීමට උත්සාහ දැරීමි.
"නෑ"
"උබ මද්දුව නේද?"
යකෝ මූ මගෙ මගෙ නමත් දන්නව.දැන්නන් නිකම්ම ශේප් න්‍යාය අනුගමනය කල නොහැක.
"ඔය කවුද"
"යකෝ මං මේ අසංග බං.... අසංග.."
අසංග..කවුද යකෝ අසංග...අපේ කාලයේ නමකි.අසංගලා නන් කීයක්ද.වින්කලේ අසංගය වත් පොල් කඩන එකාවත් විය නොහැක.උන් දෙන්නට ජාලයෙ චැට් කෙරිල්ල තියා රිමොට් කොන්ට්‍රෝලය පාවිච්චි කිරීමටත් කටු දුවන ඔරලෝසුවකින් වෙලාව බැලීමටවත් නොහැක.එහෙනන් එකට දුස්සංතගෙ මැට් ක්ලාස් ගිය බඩ මහත අසංගයාවත්ද?ඌව එදායින් පසු දැක්කේම නැත.ගුරුන්ගේ කීම අසා පසුකාලීනව මැටි ආශ්‍රිත ස්වයං රැකියාවකට ඌ යොමු ඌ බව ආරංචිය.

"උබ බඩ අසංගද"
දැන් මගෙ ඇගේ මාලු ටික යථා තත්වයට පැමිනෙමින් සිටියි.

"නෑ බං.....ඇයි බං එකට උම්බලකඩ වඩෙ කකා මීගමුවෙ ඇන්ඩ්‍ර එකෙ ෆිල්ම් බලපු...විභාගෙට කලින් දා වලි දාගෙන උබත් එක්ක පිස්සු නැටුව අසංගයව මතක නෑ...යකෝ මං ලෑලි අසංග බං..."

අම්මටසිරි..මේ..ලෑල්ලා නේද...ලෑල්ලකට සම කල හැකි සරීර කූඩුවට පිංසිද්ධ වෙන්න ලැබුනු කාඩ් එක ඇරුනු කල බෝතල් අඩි කණ්නාඩි දෙකෙන් ඕනෑම අයෙක් අදුනන ලෑල්ලා "ඔන්ලයින්ය".හොද මීටරයක් වූ ලෑල්ලා කොයි වෙලෙත් අපේ බයිට් එක වෙන්නට සැදී පැහැදී උන්නෙකි.අපොස සාපෙන් පසු ගිය ආපු මං සොයාගත නොහැකි වූ අසංගයා දැන් "ඔන්ලයින්ය".ඒත් මූ මොකද සුද්දෙක්ගේ පාර්ට් ඇක්ට් කරන්නෙ.
"අඩෝ..මචන්..අසංග...එක පාරට මීටර් වුනේ නෑ බං..ඉතිං.. ඉතිං..කොහෙද ඉන්නෙ?මොකද කරන්නෙ?"
"මචං මං ගැන ආරන්චි නැද්ද..අපූ...මහ ලොකුවට ඉන්නෙ නෙට් එකේ...මං මහ කරදරේක වැටිල බං ඉන්නෙ"
"ඈ..ඒ මොකක්ද බං ඒ.."
"මචං මාව ඉන්ටපෝල් එකෙන් හොයනව බං..නැද්ද හැන්ගෙන්න තැනක්"

මට සුලුදිය පහකරන්නට අවශ්‍යතාවක් හදිසියේ පැන නැගි හෙයින් පොඩ්ඩක් ඉන්නයි අසංගයාට කියා කර්ත්ව්‍යය කරගෙන පැමිනියෙමි.

"මොකක්...උබ ඉස්සෙල්ල කොහෙද ඉන්නෙ කියහන්...?"

"මචන් මේකයි සීන් එක..ඒ කාලෙම මං මචන් වෙන්නප්පුවෙන් බෝට්ටුවෙ නැගල ඕස්ට්‍රේලියාවට ආවනෙ බං...මෙහෙ මච හොද කොම්පියුටර් බුවෙක් ලග තමා මං වැඩට සෙට් වුනේ..ඌ මචන් ලීක්ස්ද අර්තපල්ද මොකක්ද කියල සයිට් එකක් කරනව...මට තියෙන්නෙ ඌ ඉල්ලන ඉල්ලන වෙලාවට කෝපි එකක්..හොට් ඩෝග් එකක්..පත්තරෙ එහෙම ගෙනෙල්ල දෙන එක...පස්සෙ පස්සෙ මටත් හිතුන මේම ඉදල හරියන්නෙ නෑ නෙ මාත් මේ භාණ්ඩෙ පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනෙ කියල.මූ මචන් කරන්නෙ නිව්ස් දාන එක.මාත් දවසක් එහෙන් මෙහෙන් ඔට්ටු වෙලා බොසා නැති වෙලාවක් බලල
පොඩ්ඩක් ඔබල බැලුව .ඒක මාර සයිට් එකක් බං.හැමෝම බලනව,මාර පිලි ගැනීමක් තියෙන්නෙ.ඉතින් මාත් මගේ ටිකිරි මොලෙන් කල්පනා කරල බැලුව අපේ රජතුමා කියනව වගේ රටට පිටින් ඉදල වුනත් රටට වැඩක් කරන්න ඕන කියල.කෝමත් මට ඒදවස්වල ඉදල ඔය ඇමරිකාවත් එක්ක මාර වයිරයක්නෙ බං තියෙන්නෙ..ඇය් බං උන් එහෙට ගානව..මෙහෙට ගානව..එහෙම බෑ නෙ..මාත් ඉතින් බැලුවෙ නෑ..ඇරල ඇරිය..සුද්දගෙ කලිසන් ගැලවෙන්නම."

"හැබයි මචං වැඩෙ චොර උනේ බොසා ආවාම...ඌ මාව නොමරපු එක විතරයි බං...අන්තිමේදි ඌට හොදටම මල පැනල මට කියනව දැන් මේ දාපු නිවුස් ඔක්කොම ප්‍රසිද්ධ වෙලා ඉවරයිලු...ඇමරිකාව කුලප්පු වෙලා සයිට් එකෙ අයිතිකාරයව හොයනවලු එල්ලන්න...මටනං වගකීම ගන්න බෑ...උබ ඕන දෙයක් කොර ගනින්...මේකෙ අයිතිකාරය විදිහට මං උබේ නම දානව කිව්ව...ඉතින් බං..මාත් යටි හිතින් මාර හැපි එකේ හිටියෙ එක රැයින් ප්‍රසිද්ධ වෙන්න..ඒත් බමුණුකුල අසංග කියල දාන එක නිකන් කැතයි වගෙ හින්දා...හොර පාස්පෝට් එකේ තිබ්බ ජූලියන් අසංග කියලම දැම්ම..ටිකක් රෑ වෙද්දි තමයි තේරුනේ..මං නිදා ගන්න තැන වටේට සයිරන් නලා ඇහෙද්දි...පස්සෙ මං මේ එහෙන් මෙහෙන් බේරිලා එන ගමන් බං...පස්සෙ දැන ගත්තේ වැඩේ දරුනු වෙලා බං..බයේ බෑ ඕයි...
උබලගෙ අර දෙණියෙ කැලේ තාම තියනව නෙ...ඒ මචන් මට එතන සෙට් කරල දීහං කෝ..."
අමර කතාවකි.අදහන්න වටින පොරකි.මොනා වුනත් මූ රටට කරපු සේවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ඇමති කමක්වත් දියයුතු පොරකි.
"ඕකෙ මචන් මං බලන්නන්..උබ කොහොමද එන්නෙ..."
"ඒව හරි මචන්...මං අපෙ රත්තරන්ට කියල වැඩෙ සෙට් කරන් ඉන්නෙ ...මිනිහ කලුතර ඉදන් එනව කිව්ව අලුතෙන් හදපු වරායට මාව ගන්න..බෝට්ටුව රෙඩි.."
"එහෙනන් බං අපි මොකටද...උබට රාජ්‍ය ආරක්ශාවම හම්බවෙයිනෙ..."
මම නක්කලේට මෙන් පැවසුවෙමි.
"මේ පිස්සු කෙලින්න එපා..අම්මෝ...කොයි වෙලේ කට්ටිය මාව අල්ලල දීල ලකුනු දා....ඩෝං...දඩෝන්...අරපං දොර...අරපන් බං....යකෝ අටටත් කිට්ටුයි..අද කැම්පස් යන්නෙ නැද්ද නැගිටහන්..."
ලකියා පැමින දොරට තඩි බායි.සීතලට ඔලුව බර ගතියක්ද දැනෙන්නට විය.ඇකිලී ගිය රෙද්ද නැවත හිස තෙක්ම පොරවා අනිත් පැත්ත හැරුනේ කොට්ටය දෙකට නමා ඒ තුල හිස ඔබා ගනිමින්ය.

Julian Assange-http://en.wikipedia.org/wiki/Julian_Assange